තරුණ වියේදී ඉක්‌මන් තීරණ ගන්නේ ඇයි? (DECISION MAKING AMONG TEENAGERS)


ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ 50 ක්‌ පමණ සිටින්නේ වයස අවුරුදු 10 ත් 19 ත් අතර වියේ පසුවන්නන් ය. මෙම නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 70% ක්‌ පමණ දරුවන් පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින අතර ඉතිරි 30% පාසල් අධ්‍යාපනය ලබන්නේ නැත.

මෙම වයස හඳුන්වන්නේ හිතුවක්‌කාරී වයස කියා ය. තමුන්ට දැනෙන පරිදි තීරණ ගැනීම දෙමාපියන් සමඟ මත ගැටුම් ඇතිකර ගැනීමට මෙම වයසේදී යොමුවේ. ඊට ප්‍රධාන වශයෙන් ම හේතු වී තිබෙන්නේ මෙම වයසේදී ඔවුන්ගේ ශාරීරික වර්ධනය සහ මානසිත වර්ධනය උපරිම අයුරින් සිදුවීමට පටන් ගැනීමය.

නව යොවුන් වියට පත්ව විරුද්ධ ලිංගිකයන් කෙරෙහි අවධානය යොමු කරන මෙම වයසේදී ඉතා පහසුවෙන් අතවරවලට ලක්‌වීම, රැවටීම්වලට ලක්‌වීම සඳහා වන ඉඩකඩ වැඩිය.

මීට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ ඔවුන් තුළ අත්දැකීම් මඳ බව සහ මොළයේ වර්ධනය පූර්ණ ලෙස සිදු නොවී පැවැතීමය.

නිවැරැදි තීරණ ගැනීම සඳහා බලපාන මොළයේ කොටස වන පූර්ව මස්‌තිෂ්කය මෙම වයසේදී නිසි ලෙස වර්ධනය වී නැත.

මෙය වර්ධනය වී අවසන් වන්නේ පිරිමි දරුවකුගේ නම් වයස අවුරුදු 25 පමණ වූ විට සහ ගැහැනු දරුවකුගේ නම් වයස අවුරුදු 30 – 35 වූ විටදී ය.

ඒ නිසා තරුණ වියේදී ඉක්‌මන් තීරණ ගැනීම හදිසි කෝපයට පත්වීම, අන් අයගේ රැවටිලිවලට හසුවීම, ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ මෙම මොළයේ වර්ධනය සම්පූර්ණ වී නොතිබීම නිසාය.

තරුණ දූ දරුවන් සිටින දෙමාපියන් මේ බව හොඳින් තේරුම් ගත යුතුය. තම දරුවාගේ අධ්‍යාපන කටයුතු ගැන බාහිර ක්‍රියාකාරකම් ගැන නිසි අවධානයෙන් පසුවිය යුතුය. දරුවන් අතින් වැරදි තීරණ ගැනීමට ඇති හැකියාව අවම කිරීමට පියවර ගත යුතුය. නිර්මාණශීලීව සිතීමට සාමූහිකව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දිය යුතුය.

ඒ සඳහා ක්‍රීඩා කටයුතුවලට සංගීතය, චිත්‍ර, ගායනය වැනි අංශ සඳහා යොමු කිරීම තුළින් පොතට පතට පමණක්‌ සීමා වූ මනස නිර්මාණශීලී කටයුතු සඳහාත් විවර වේ.

වර්තමානයේ දෙමාපියන් සහ දූ දරුවන් අතර ගැටුම් ඇති කරවන මෙවලමක්‌ බවට ජංගම දුරකථනය පත්ව තිබේ. නව යොවුන් වියේ පසුවන්නන් 60% ක පමණ පිරිසක්‌ ජංගම දුරකථන භාවිත කරති.

තාක්‍ෂණයෙන් දියුණු වන, ලෝකය සමඟ ජංගම දුරකථන අන්තර්ජාල භාවිතය අවශ්‍යය. ඉන් දරුවන් ඈත් කිරීම තුළින් සිදු වන්නේ තාක්‍ෂණයෙන් දියුණු වන අනාගත ලෝකය තුළ අතරමං වීමය. ජංගම දුරකථනවලට ඇබ්බැහි නොවී ඉන් තම අධ්‍යාපන කටයුතු සඳහා නව දැනුම ලබා ගැනීම සඳහා යොදා ගන්නා අයුරු පිළිබඳව අවබෝධ කර දිය යුතුය.

මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැත්වූ දේශනයක්‌ ඇසුරිනි.

Post a Comment

0 Comments

Post Labels