කන්න බොන්න තිබියදී නොකා නොබී දිවිගෙවීම (INCORRECT DIETARY HABITS)


අතීතයේ දී සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවූයේ මන්දපෝෂණයෙන් මියයන ජනතාවගේ සංඛ්‍යාව පාලනය කිරීමටය. නමුත් වර්තමානයේ ඔවුනට සිය අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ වැරදි පෝෂණ රටාවන් නිසා මියයන ජනතාවගේ සංඛ්‍යාව පාලනය කිරීමටය.

දියුණු වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාවේද මේ වනවිට ඉතා ශීඝ්‍රලෙස වැරදි පෝෂණ රටාවන්ට හුරුවූ ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යන්නට පටන්ගෙන ඇත.

මෙම වැරදි ආහාර රටාව යනු වැඩිපුර සීනි සහ මේදය අධික ආහාරපාන ගැනීමය. එනම් පිටිවලින් සැකසූ ආහාර වර්ග, බැදුම් වර්ගය. මෙම ආහාර වර්ග මොනවාදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. වෙළෙඳපොළේ ඇති බනිස්‌, කෙටි ආහාර ආදියයි.

අප ආහාර පාන ගැනීමට හුරුව ඇත්තේ කුසගිනි ඇතිවූ විටදීය. එනිසා කුසගිනි ඇතිවූ විට එය නිවාගැනීම සඳහා පහසුවෙන් ලබාගත හැකි ආහාර වර්ගයක්‌ ලබා ගැනීම මිස ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදෙන ආහාර පාන ගැනීමේ පුරුද්දක්‌ අප තුළ නැත.

ඔබ මොහොතක්‌ සිතා බලන්න. දිනපතා ඔබ ගනු ලබන උදේ දහවල් සහ රාත්‍රි ආහාර වේල් තුනෙහි එළවළුවක්‌, මැල්ලුමක්‌, ධාන්‍යවර්ගයක්‌ තිබේද කියා අපගේ දිනපතා ප්‍රධාන ආහාර වේලෙහි අඩුතරමින් වර්ණ දෙකකින් යුක්‌ත එළවළු තිබිය යුතුය. උදාහරණයක්‌ ලෙස කහපාට සහිත වට්‌ටක්‌කා, ගෝවා, කොළපාට සහිත බෝංචි, බණ්‌ඩක්‌කා, කරවිල, පතෝල, රතු පැහැති බීට්‌රූට්‌, මෑ කරල්, තැඹිලි පැහැති කැරට්‌ ආදී වර්ණ දෙකකින්වත් යුත් එළවළු එක්‌කරගත යුතුය.

මුකුණුවැන්න, ගොටුකොළ, කංකුන්, කෝවක්‌කා කොළ, හාතාවාරිය, අක්‌කපාන වැනි කොළවර්ගවලින් මැල්ලුමක්‌ දිනපතා ආහාර වේලට එක්‌ කරගත හැකිය.

අප බොහෝදෙනා කුසගින්නට ආහාර පාන ගන්නා නිසා වැඩිපුර බත් සහ අඩුවෙන් එළවළු මැල්ලුම්, මාළු, මස්‌ ආදිය ආහාරයට ගැනීමට හුරුව ඇත. නමුත් නිවැරදි ආහාර ගැනීම විය යුත්තේ අඩුවෙන් පිෂ්ඨය ගැනීමය. එනිසා බත්ම පමණක්‌ නොව, කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගයක්‌ වුව ප්‍රධාන ආහාර වේල සඳහා එක්‌කර ගතහැකිය.

අප බොහෝ දෙනා වැරදි ආහාර පුරුදු සඳහා යොමුවන්නේ අපට ආහාර බෙදාගෙන කෑමට ඇති හෙවත් බුෆේ ක්‍රමයට ආහාර පාන පිළිගන්වන විටදීය. එහිදී බත් වර්ග කිහිපයක්‌, නූඩ්ල්ස්‌ වර්ග මාළු වර්ග කිහිපයක්‌, මස්‌ වර්ග කිහිපයක්‌ ආදි ලෙසින් ආහාර වට්‌ටෝරු කිහිපයක්‌ සහිතව ආහාර තබනු ලබයි. මෙහිදී බොහෝ දෙනා මෙම ආහාර පාන සියල්ල තමාගේ ආහාරවේල සඳහා බෙදාගනු ලබති. නමුත් මෙලෙස ආහාර වර්ග කිහිපයක්‌ සකස්‌කර ඇත්තේ එකිනෙකාගේ රුචිකත්වය අනුව ආහාර ගැනීම සඳහාය.

බුෙµa ක්‍රමයට ආහාර පිළිගන්වනවිට පළමුව තැබිය යුත්තේ බත් වර්ග නොව එළවළු වර්ගය ඉන්පසු මස්‌ වර්ග අල වර්ගය අවසානයට බත් තැබිය යුතුය. එවිට එළවළු, මස්‌ වර්ග අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන බත් වැඩිපුර බෙදාගැනීම වළක්‌වා ගත හැකිය.

ප්‍රධාන ආහාර වේලෙන් පසු පලතුරක්‌ ආහාරයට ගැනීම තුළින් අප ගනු ලැබූ ආහාරවල ඇති විටමින් වර්ග ශරීරයට අවශෝෂණය කරගැනීම පහසු වේ.

පලතුරු ආහාරයට ගැනීමේ දී හොඳින් ඉදුණු පලතුරුවලට වඩා හොඳින් පැසුණු පලතුරු ආහාරයට ගැනීමෙන් එම පලතුරුවල ඇති සීනි අනවශ්‍ය පරිදි ශරීරයට එකතුවීම වලක්‌වා ගත හැකිය.

පලතුරු වර්ග ලෙසින් අපට වෙරළු, අඹ, කාමරංකා, ගස්‌ලබු, කෙසෙල්, අන්නාසි ආදිය ආහාරයට ගත හැකිය.

මාළු වර්ග ආහාරයට ගැනීමේදී අධික මිලෙන් යුත්, තෝරා, පරා ආදී මාළු වර්ග ආහාරයට ගත යුතු නැත. කුඩා මාළු වර්ග ඉතා ගුණදායකය.

ආහාර පිසීමේදී පොල් කිරි භාවිතයේදී එක්‌ වෑංජනයකට පමණක්‌ මිටි කිරි භාවිත කර අනෙක්‌ වෑංජන සඳහා දිය කිරි භාවිත කිරීම තුළින් අනවශ්‍ය ලෙස ශරීරයට මේදය එක්‌වීම වළක්‌වා ගත හැකිය.

සලාද වර්ග සෑදීමේදී රත්කිරීමට වඩා අමුවෙන් පිළියෙල කරගෙන ආහාරයට ගැනීම ගුණදායකය.

වර්තමානයේ බොහෝ කාන්තාවන් තම ශරීරය මහත්වීම පාලනය කරගැනීම සඳහා ආහාර පාලනය කිරීමට යොමුව ඇත. එහිදී බොහෝ කාන්තාවෝ ආහාර පාලනය යෑයි කියමින් ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්‌ හෝ දෙකක්‌ අත්හරිති. විශේෂයෙන්ම රාත්‍රි ආහාර වේල නොගෙන පලතුරු ආහාරයට ගනිති.

මින් සිදුවන්නේ ශරීරයට ආහාර පාන අඩුවෙන විට ශරීරය තමා වෙත ලැබෙන ආහාර ගබඩාකර තබා ගැනීමය. එවිට සිරුර තව තවත් ස්‌ථුල බවට පත්වේ.

අප නිවැරදි ආහාර පුරුදුවලට සහ ආහාර රටාවනට හුරු නොවීම නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරුවී අකාලයේ මියයැම හෝ රෝගී වී නිසි ලෙස ආහාරපාන ගැනීමට නොහැකිව අමිහිරි දිවියක්‌ ගත කරමින් ජීවිතය විඳිනවා වෙනුවට ජීවිතය විඳවමින් ගත කරනු ඇත.

වෛද්‍ය උපදෙස්‌ මත මෙම ලිපිය සකස්‌කර ඇත
උපාලි ද සේරම්

Post a Comment

0 Comments

Post Labels